Wednesday, June 17, 2009

රන් දෙපැයේ ඇතඋල් පැත්ත

අසීමිත ලෙස විවෘත කරනු ලැබූ දේශීය ආර්ථිකයක අහිතකර ඵල විපාක වසර තිහක් පුරාවට ඛේදජනක ලෙස අප අත්විඳිමින්සිටිමු. ඒ අතරතුර තම කොමිස් මුදල ගැන පමණක් සිතමින් මැකියාවේලියානු ඉගෙනුම් භාවිතයට ගනිමින් පාලනය සිදුකරන ශ‍්‍රී ලාංකික පාලකයින් ප‍්‍රතිපත්තිමය දේශපාලනය තව දුරටත් කල් අරිමින් සිටී. තොරතුරු මත පදනම් වන මේ සියවස තුල තෙවන ඇස ලෙස සළකන මාධ්‍යයන්ට ද අයාලේ යන ගවයින් මෙන් මුදල් පසුපස හඹා යාමට ඉඩදී ඇතිවා මිස දේශපේ‍්‍රමී ආණ්ඩු ජනතාපේ‍්‍රමී ලෙස ජනතාවට හිතකාමී වැඩසටහන් කුමක්ද? ඒවායේ හිතකාමී බව හෝ අහිතකාමී බව තීරණය වන්නේ කෙසේද? වඩා සුදුසු සදාචාරවාදී මිනුමක් ද, එසේත් නැතිනම් නවීන විද්‍යානුකූල මිනුමක්ද යන්න හිතාබලනවා තබා ක‍්‍රමවත් අධ්‍යනයක් පිළිබඳව අකුරක්වත් දන්නේ නැති මැති ඇමති පිරිසක් මැද ඒ පිළිබඳව වන බලාපොරොත්තුවක් වුවද අරුත්සුන් කාරණයක් බවට පත්ව ඇත. එසේ වුවද මේ අපේ රට නිසාත්, සිවිල් සමාජ පුරවැසියෙකු ලෙස විමසා බැලීම මාගේ යුතුකම නිසාත් මේ උත්සාහය යම් අධ්‍යනයක් දෙසටය.
පසුගිය කාලය පුරාවට විදේශීය අනුකරණ මෙරට සමාජයට හදුන්වා දෙමින් මැජික් පෙන්වූ සිරස මාධ්‍ය ජාලය රන් දෙපැය ටෙලිනාට්‍ය මාලාවද බුද්ධිමත් පේ‍්‍රක්ෂකයන් වෙනුවෙන් විකාශය කරන ලදී. ඊට ඉතා දැඩි විවේචනයක් එල්ල වුවද එය හුදෙක්ම වෛරය, ඊර්ෂ්‍යාව, හෝ වර්ගවාදී පදනම් කරගත් සදාචාරවාදී විවේචනයක් බවට පත් විය. එනම් එකී විවේචනයට පදනම් වූයේ කලාත්මක, මනෝවිද්‍යාත්මක හෝ සමාජවිද්‍යාත්මක දෘෂ්ඨි කෝණයක් නොව රට කරවන අයගේ අතාර්කික අන්තවාදී අතීතකාමී පුහු මතවාදයකි. මේ හේතුකොට ගෙන ශී‍්‍ර ලංකාවේ සමස්ත රූපවාහිනී ක්‍ෂේත‍්‍රය වෙනුවෙන්ම සිදුවීමට තිබූ සාධනීය විවේචනයක් මගහැරී ගියේය. කෙටි ඉඩක් තුල වුවද මේ උත්සාහය ශී‍්‍ර ලංකාවේ රූපවාහිනී ක්‍ෂේත‍්‍රය පිළිබඳ යම් සාධනීය විවේචනයකට මග එළිපෙහෙළි කිරීමයි.
මේ පිළිබදයව අවධානය යොමු කිරීමේ දී මාගේ ප‍්‍රථම ඉලක්කය වනුයේ කලාත්මක අරමුණකින් තොරව නිපදවා ඇති රන්දෙපැය වැනි කතාමාලාවක් තුලින් සෘජුවම පේ‍්‍රක්‍ෂකයා වෙත සිදුකරන මනෝවිද්‍යාත්මක බලපෑම පිළිබදව විමසා බැලීමයි. මේ සඳහා ඇල්බට් බන්ධූරාගේ සමාජ ඉගෙනුම් න්‍යාය මනා පදනමක් සපයනු ලබයි. (එනම් සමාජයේ නිරීක්ෂණ, අනුකරණ හා ආකෘති මගින් අප ඉගෙනගන්නා බවයි. (ලොව සමීක්ෂණ අතිවිශාල ගණනකින් ඔප්පු කොට ඇති මෙම න්‍යායය තුලින් පැහැදිලි කරන කරුණු සැබැවින්ම රන්දෙපැයට පමණක් නොව සියළු මාධ්‍යයනට පොදු වූ කාරණයකි.) එහිදී රන්දෙපැය තුල වන කැමරාකරණයේ හා සංගීතයේ සිට එය පේ‍්‍රක්ෂක ආකර්ෂණය වැඩිකිරීමටත්, එහි කතාව දිග්ගැස්සවීමටත් යොදා ගන්නා ප‍්‍රචණ්ඩත්වය අතිශය නිශේධනාත්මක ලෙස පේ‍්‍රක්ෂක මනසට බලපායි. එහිදී මිනිස් මොළයේ වන ස්කිමාවන් වල තැම්පත් වන මතකයන් ඔස්සේ ප‍්‍රජානන සිතියම (Cognitive Structure) සකස් වීම මත අවස්ථානුකූලව අදාළ ඉගෙනුම් චර්යා ඉස්මතු වීමේ අවධානමක් විද්‍යාත්මකව පෙන්වා දී ඇත. උදාහරණයක් ලෙස අන් කෙනෙකු කෙරෙහි වෛරයක් ඇතිවූ විට එය ප‍්‍රකාශ කරන ආකාරය පිළිබඳව පූර්වාදර්ශයක් මේවා තුලින් ලබාදෙන බවයි. එමෙන්ම තමන් තරහ, වෛරය, ඊර්ෂ්‍යාව ඇතිකර ගත යුත්තේ කුමන අවස්ථාවකද යන්න පිළිබඳවද වන ඉගෙනුමක් මේ තුලින් ලබා දේ. ( වැඩිදුර අධ්‍යනය සඳහා http//faculty.ncwc.edu/ TOConnor/psy/psvlec108-htm වෙබ් ලිපිනය කියවන්න. මේ ආකාරයේ අහිතකර මාධ්‍ය භාවිතය පිළිබඳව පර්යේෂණ, සමීක්ෂණ පැවැත්වීමටත් ඒ අනුව කි‍්‍රයාත්මක වීමට බලධාරීන්ට බල කිරීමටත් පිහිටුවාගෙන ඇති ඇමරිකාවේ http// www.parentstv.org/ptc/ facts/mediafacts.asp. වෙබ් ලිපිනයෙන්ද තොරතුරු විශාල ප‍්‍රමාණයක් ලබාගත හැක.)
මෙම අවධානම වඩාත්ම බලපානුයේ ලාබාල වයසේ සිටිනවුන්ටය. සමාජය තුලින් තම ජීවිතයට අදාළ වන ප‍්‍රායෝගික දැනුම සොයා යන කුඩා ළමුන් අතාත්වික ප‍්‍රචණ්ඩත්වයට වීරත්වය ආරෝපනය කිරීම මත එය තම ඉදිරි ජීවිතයේ ආදර්ශය කොට ගැනීම වළක්වනු නොහැක. නිරතුරුවම පළිගැනීම් සාධාරණය කිරීම, අතාත්වික අංග රචනය (වයසක චරිත සඳහා තරුණ අය ඒ අයුරින්ම භාවිතා කිරීම) , ආගන්තුක සංස්කෘතියක් තමන්ගේ ලෙස බාරගැනීම් වැනි කාරණා ළමා මනසට නිශේධනාත්මක ලෙස බලපෑමේ හැකියාවක් ඇත. නිවරැදි සංජානනයකට දැවැන්ත අවහිරයක් වනු ඇත. ළමුන්ට වන මාධ්‍ය බලපෑම් යනු වඩා පුළුල් ක්‍ෂේත‍්‍රයක් වන අතර එය වෙනම ගෙන අධ්‍යනය කළ යුත්තක් වේ.
රන්දෙපැය පිළිබඳව වන කතිකාව තුල සමාජයේ තරමක මුල් බැසගත් සාධනීය මතයක් වූයේ මෙය ස්තී‍්‍රවාදී වන්නක් බවත් ඒ හේතුකොට ගෙන එය කාන්තාවන් අතර ජනපි‍්‍රයව ඇති බවත්ය. එසේ නම් රන්දෙපැය සැබැවින්ම ස්ත‍්‍රීවාදී ද යන්න විමසා බැලිය යුතුය.
රන්දෙපැය සැබැවින්ම ස්ත‍්‍රීවාදී නම් එය කාන්තාවගේ සමාජ භූමිකාව පිළිබඳව හඩක් නැගිය යුතු වේ. මන්ද ස්ති‍්‍රයට අසාධාරණයක් හෝ වෙන්කොට සැළකීමක් සිදුවන්නේ සමාජ නිර්මිතයක් වන ස්ත‍්‍රියගේ භූමිකාවේ වන ප‍්‍රශ්ණකාරී බව හේතුකොට වීමය. සරලව ගතහොත් සමාජය ස්ත‍්‍රිය යන භූමිකාව තුලින් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන කාරණය ඇයට සිදුවන අසාධාරණයේ මූල බීජය වන බැවිනි. නමුත් ඒ ආකාරයේ ප‍්‍රවේශයක් රන් දෙපැයෙහි වන එකදු නාට්‍යයක වත් දැකගැනීමට නොහැකි වේ. ඒ වෙනුවට පවතින සමාජ ක‍්‍රමය තුල ව්‍යූහාත්මකව ස්ථාපිතව ඇති ස්ති‍්‍රයගේ භූමිකාව තව දුරටත් සාධාරණීකරණය කිරීමටත්, ඊටත් එහා ගොස් එය තවදුරටත් ශක්තිමත් කිරීමත් පමණක් නිරීක්ෂණය කළ හැක. උදාහරණයක් ලෙස ස්ති‍්‍රයගේ විවාහය යන කාරණය තුලදී තමන්ට ඒ පිළිබඳව තීරණයක් ගැනීමට ඇති නිදහස නොමැතිවීම යන කාරණය ප‍්‍රශ්ණ කරනවා වෙනුවට ස්ති‍්‍රයක් වීම එකී අයිතිය අහිමි වීමට හේතුවක්ය යන අදහස මෙහිදී ස්ථාපිත කරනු ලබයි.
පවතින ව්‍යූහාත්මක රාමුව තුල යම් වීරත්වයක් කාන්තාවට ලබා දීම මෙහිදී ස්ත‍්‍රීවාදී ලෙස හුවාදැක්වීමක් සිදුකරන බව පෙනී යයි. සාම්ප‍්‍රදායික පීඩිත කාන්තාවනට තාවකාලික තෘප්තියක් එමගින් ලබාදීමේ හැකියාවක් ඇත යන තර්කයක් පැවතුනද ස්ත‍්‍රීවාදී දෘෂ්ඨිකොණයෙන් ගත් කළ සැබෑ අර්බුදය යටපත් කිරීමක් මෙමගින් සිදුවේ. එනම් ස්ති‍්‍රයක් ලෙස තමන් මුහුණදෙන පීඩනය තාවකාලිකව යටපත් කිරීම මත විසදුම් සෙවිය යුතු ව්‍යූහාත්මක ගැටළුව මගහැරී යාමයි. සැබෑ ලෝකයේ දී ඉටුකරගත නොහැකි දෑ සමූහයක් ( කාන්තාවන්ට වීරත්වයක් ආරෝපණය කිරීම, මිලෙන් අධික ඇදුම් ඇඳීම, කෙතරම් වයසට ගියත් තරුණ පෙනුමකින් යුතු වීම වැනි දෑ) ෆැන්ටසියක් තුලදී ඉටුකර දීමක් මෙහිදී සිදුවේ. කෙසේ වුවද මානසිකව තෘප්තිය ලැබෙන නවමු ප‍්‍රවේශයක් එහි නිෂ්පාදකවරුන් හදුනා ගැනීම හා එය වෙළඳපොළ ආකර්ෂණයට යොදා ගැනීම පමණක් මින් දැකගත හැක. ඒ අනුව රන්දෙපැය තුල ලාභය ඉපැයීමට එහා ගිය සාධනීය අරමුණක් නොමැත යන කාරණය තව දුරටත් ඔප්පු වේ.
මේ ආකාරයට සමස්තයක් ලෙස රන්දෙපැය පිළිබඳව විවේචනය ඉතා දීර්ඝ එකක් වුවද ඒ සඳහා ප‍්‍රවේශයක් සකසා ගැනීමට පමණක් මෙහිදී උත්සාහ කරමි. රන්දෙපැය ඉන්දියානු වූ පළියට එය හරසුන් වීමටත් ශී‍්‍ර ලාංකික වීම නිසාවෙන් පබා හෝ බට්ටී හරයාත්මක වීමටත් නොව රූපවාහිනී වැඩසටහන් සියල්ල නැවත කියවීමක අවශ්‍යතාව මෙමගින් අවධාරණය කෙරේ. ඒ මේ අපේ රට නිසාත් එසේ සිදුකිරීම මගින් මාධ්‍යයන් රටකට, ලෝකයට, මනුෂ්‍ය වර්ගයාටම හිතකාමී ලෙස යොදා ගැනීමට ඇති අවශ්‍යතාව හේතුකොට ගෙනය.
අවසාන වසර නිබන්ධනය ඇසුරිනි
ප. ලි. මාගේ විමර්ශනය සිදුකෙරුනේ රන්දෙපැය මූලික කරගෙන නිසා එය පමණක් මූලික ව අවධාරණය කර ඇත. නමුත් මෙහි එන කරුණු අඩු වැඩි වශයෙන් දැනට පවතින අනෙකුත් ටෙලිනාට්‍ය සදහාද බලපා ඇත.

No comments:

Post a Comment